ලේඛකයන්ට, ණය, ලැප්ටොප් දීමෙන් බුද්ධිමය නවෝදයක් උදාකරන්න බැහැ - පරාක්‍රම කොඩිතුවක්කු

Published in Interviews
Thursday, 26 June 2014 05:30

පරාක්‍රම කොඩිතුවක්කු යනු ලාංකීය කවියේ සාම්‍ප්‍රදායික මං පෙත වෙනස් කළ සළකුණකි. සිය නිර්මාණ තුළින් සමාජය සහ පුද්ගල ජීවිතය ගැඹූරු කතිකාවතකට ලක්කළ ඔහු සමගින් "අද" පුවත්පත කවියේ වත්මන් ගමන් මඟ පිළිබඳව කළ සංවාදය ඇසුරිනි.

 

වත්මන් කවියේ ගමන් මග ගැන ඔබේ අදහස?

කවිය පමණක් නොවෙයි. අපේ සියලුම සාහිත්‍යාංගයන් පාරේ ඉවර වන ප්‍රපාතයකට ලං වෙමින් සිටිනවා. සියුම්තම කලාව වූ කවිය යන එන මගක් නොදැක බොරු පත්තර කවියක් බවට පත්වෙලා. පත්තරවලට ලියන අයවත්, පිටු කරන අයවත් කවිය අදුනන්නේ නැහැ. බොරු විචාරකයන් නිසා තරුණ පරපුරේ කවි ශක්තිය විනාශ වෙමින් තිබෙන හැටි ඛේදජනකයි.

 

ගුණදාස අමරසේකර මහතා කියන්නේත් ඔය දේම නේද?

අමරසේකර මහතා කවිය බිද වැටී ඇති බව කීම සත්‍යයක්. විශිෂ්ට කවියෙක් වුවත් කවිය ගැන හොද විචාරකයෙක් නොවෙයි. අවුරුදු 30-40කට පෙර ලියු කවියට පසු ඔහු ලියූ කවියක් නැහැ. ඔහුගෙන් අභිනව කාව්‍යකරණයක් බිහි නොවූයේ ඔහු ව්‍යාජ විචාරවාදයක ගල්වී සිටින නිසයි.

 

අමරසේකර මහතාගේ විචාරයේ ඇති වරද මොකක්ද?

නව කවිය ගතයුතු නව මඟ ගැන ඔහුට සංකීර්ණ දෘෂ්ටියක් නැහැ. "පිය සමරෙන්" කවි මඟක් පටන් ගන්න බැහැ. එය බිඳ වැටුනු කාව්‍යයක්. එහි වටිනා ලක්ෂණ හා අසාර්ථක කාරණා විග්‍රහ කර ගැනීමටයි අවශ්‍ය. නව කවිමඟකට එක මාවතක් නැහැ. අප ලෝකයේ කවිය දෙස බැලිය යුතුයි. අද පෙරදිග සහ බටහිර රමනීය කාව්‍ය සාහිත්‍යයන් පළ දරා තිබෙනවා. එහි සුවදවත් මෙ‍හාට එන්නෙ නැහැ.

අමරසේකර නිදහස් කවි රීතියට පිටු පානවා කියන්නේ ‍මුහුදට පස්ස හැරවීමක්. වත්මන් තරුණ පරපුරට අද ලෝකයේ කවියේ මුහුණුවර හදුන්වාදීමයි කළ යුත්තේ. අද ලියවෙන බටහිර කවිය ගැනවත්, ආසියානු කවිය ගැනවත් අමරසේකර මහතා දන්නේ නැහැ.

 

"අපේ සියලු කලාවන් අඳුරේ " කියා ඔබ කියනවා. හේතු කියනවා නම්?

මේ සමාජයේ බුද්ධියත් හදවතත් අඳුරෙයි තියෙන්නේ. නිදහස ලබා අවුරුදු 60ක් ගතවුවත් අපේ රටේ බුද්ධිමය නවෝදයක් සිදුවුණේ නැහැ. අද සංස්කෘතික මිනිසා මිය යමින් සිටිනවා. මා ලගදී ඇසුවා රූපවාහිනියේ එක් මහාචාර්යවරයෙක් කියනවා අපට සිටින්නේ කලාවට ආදරය කරන රාජ්‍ය නායකයෙක් කියලා.

අද උගතුන්ගේ චින්තනය මෙහෙමයි. අපේ දේශපාලනඥයන්ට. සංස්කෘතිකමය, බුද්ධිමය, දැක්මක් නැහැ. ලේඛකයන්ට ණය, ලැප්ටොප් දීමෙන් බුද්ධිමය නවෝදයක් උදා කරන්න බැහැ. අද ගම හරහා ඇවිලෙන අපරාධ රැල්ලේ තේරුම මේ සමාජයේ බුද්ධිය, හදවත අඳුරේ කියන එකයි. ඊට පන්සලෙන්වත් එලියක් වැටෙන්නෙ නැත්තේ භික්ෂූන් ඉතාම පිරිහුණු සමාජ කොටසක් වී තිබෙන නිසයි. අද ගමේ තරුණයා කියන්නේ පත්තරයක් නොබලන, ජංගම දුරකථනය හැර මෙලේ කල්පනාවක් නැති පුස්සෙක්. මොවුන් එදා ජ.වි.පෙ.ට පෝස්ටර් අලවපු චරිතයි. අද ඔවුන්ට පිට රටකට පැන ගන්නවා හැර වෙනත් මගක් නැහැ.

 

නව අධ්‍යාපන පෙරළියෙන් සමාජය පිබිදෙන්නේ නැද්ද?

අධ්‍යාපන විපර්යාසයක් අවශ්‍ය බව ඇත්ත. අද විශ්වවිද්‍යාල, පාසල් පද්ධතිය බිහිකරන්නේ හිතන්න බැරි පුස්සෙක්. රටට ඵලක් නැති ව්‍යාජ ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙනුවට තාක්ෂණය, ඉංග්‍රීසි බස මුල්කොට ගත් අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගිය යුතුයි. එය පෞද්ගලික අංශයට ගලා යන්නක් වියයුතුයි. අද කොළඹින් මෙපිටට එන විට පාසල්වල අලුත් විෂය සංයෝජනයක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. සිසුන් පරණ විෂය කොටුවලම සිරකරුවන් වෙලා.

 

ඉංග්‍රීසි බස නැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක්ද?

ඔව් ඒක තමා ප්‍රධානම ප්‍රශ්නය. එදා දෙමළ, ඉංග්‍රීසි බස යටපත් කරලා " සිංහල only" කළ තකතීරුකමින් සමාජයේ ගමන ඇන හිටියා. තරුණ පරම්පරා ගණනක් ලිං මැඩියන් වුණා. ඉන්දියාව සාක් රටවල් ඉංග්‍රීසි සමග ලොකු ගමනක් යමින් තිබෙනවා. ඉංග්‍රීසි අද අපේ රටේ අසාර්ථකම ඉගැන්වීමයි. ඉංග්‍රීසි උගන්වන්නෙත් බහුතරයක් ඉංග්‍රීසි පත්තරයක් නොබලන, ලෝකයේ නව දැනුම නොලබන පිරිසක්.

 

මොනිකාගෙන් පසු කිවිදියක් නැහැ කියා ඔබ කියනවා එහෙම කියන්නෙ ඇයි?

මොනිකාගේ උසට වැඩුණු කවිත්වයක් ඇති කාන්තාවක් නැහැ. කවීත්වයක් තිබුණු යමුනා මාලනී ගීතයට ගිහින් විනාශ වුණා. විපුලී නිරෝෂි තම උසස් කවීත්වය කැපවීමෙන් වර්ධනය කර ගන්නෙ නැහැ. රත්නශ්‍රීගේ පවා මහරු කවීත්වයේ නව විකාශයක් නැහැ. අද තවමත් අපිට උස්ව පේන්නේ ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ, බුද්ධදාස ගලප්පත්ති, සුනන්ද මහේන්ද්‍ර වැනි ඉකුත් සියවසේ කවීන් නේද? නව කවියෙක් උස යන්නේ නැත්තේ මේ දූපතේ වෙරළට සීමා වීම නිසයි.

අද සාහිත්‍ය විචාරය ගැන නවීන විචාරයක් නැති නිසයි සාහිත්‍ය කලාව මුඩු බිමක්වී තිබෙන්නේ. අද ‍නව ලෝකයේ ඉතා සුන්දර ගැඹුරු ඥාන පද්ධතියක් තිබෙනවා. අපට වෙරළෙන් එහාට දැක්මක් නැහැ. Post Modernism මේ රටට ඇද බෑවේ අනන්‍යතාවක් නැති එක්ස් කණ්ඩායමක්. ඒකෙන් සිදුවුණු සෙතක් නැහැ. අලුත් දොරටු විවර කරගන්න තිබුණු අවස්ථා අවුල් වුණා විතරයි. අද ලොවෙහි ඇති නූතන, පශ්චාත් නූතන දැනුම් ප්‍රවාහය මේ රටට නියම වශයෙන් ගලා ආවෙ නැහැ. මේ දෘෂ්ටිකෝණය විවෘත කළ හොද ප්‍රඥාවන්ත විචාරකයන් දෙපල ලියනගේ අමරකීර්ති සහ ආරියවංශ රණවීර බව අප තේරුම්ගත යුතුයි. ආරිය රාජකරුණා, සුනන්ද මහේන්ද්‍ර, කුලතිලක ආරියවංශ, සුනිල් විජේසිරිවර්ධන වැනි ප්‍රබුද්ධ විචාරකයන්, ව්‍යාජ විශ්වවිද්‍යාල විචාරකයන් මැද සිටින කලාකරුවන් යැයි මට හැගෙනවා. NGO විචාරකයන්ගෙන් නම් මේ සමාජයට වුවමනා දැක්ම ලැබෙන්නේ නැහැ.

එතකොට විකල්ප ගොඩනැගිය යුතු වෙනවා නේද?

එය තමයි අද දවසේ බුද්ධිමතුන්ගේ, ප්‍රගතිශිලීන්ගේ යුග මෙහෙවර. පවතින මේ ස්ථාපිත ගතානුගතික ව්‍යාජ ඥාන පද්ධති වෙනුවට නව හිරු අමතන විකල්පීය බුද්ධියක් සමාජ ඉදිරි ගමනට අවශ්‍යයි. සම්මත මාධ්‍ය සියල්ල ගමන් කරන්නේ වෙළඳ වීදියක. අද මේ විකල්පීය අවකාශය සම්පූර්ණ කිරීමට සිදුව තිබෙන්නේ බුද්ධිමතුන් ස්වල්ප පිරිසකටයි.

Last modified on Thursday, 26 June 2014 16:25
1

Leave a comment

Connet With Us

       Google+